මා ගැන බිදක්...


            මිට වසර 12 කට පමණ පෙර, උසස්පෙළින් පසු ප්‍රථිපල ලැබෙන තෙක්, පාලුවෙන් සිටී කාලයේදී මගේ දහම් පාසැල් මිතුරෙකුගෙන් දහම්පාසැල් මාණ්ඩලික තරගයේ චිත්‍ර විෂය සදහා සුදුස්සෙකු තෝරා දෙන ලෙස ඇරයුමක් ලැබුණි. පසුව එම ළමුන් පුහුණු කිරීමත්, තවත් පසුව වෙනත් තරග සදහා පුහුණු කිරීමත් මම ආරම්භ කලෙමි. ඊට පසුව විහාරාධිපති හිමි පැවැත්වූ ධර්මාචාර්ය විභාගය සදහා පවත්වන ලද පන්ති මාලාවටද සහභාගී වූ අතර විභාගයෙන් පසු වූ හුදකලාව නිසාම දහම් පාසලේ ඉගැන්වීමට ගියෙමි. 
            කිසිදා දහම් ගුරුවරයෙකු වීමට කිසිදු අපේක්ෂාවක් නොතිබූ මා ටිකින් ටික එයට ඇලුම් කරන්නට විය.  කම්මැලිකම නිවාගැනීම සදහා පමණක්  මා දහම් පාසල් ගමන ආරම්භ කලද පසුව එමගින් කල හැකි මෙහෙවර ටිකෙන් ටික අවබෝධ වන්නට විය. කඩදාසි සහතික පමණටත් වඩා තිබුනද, කටපාඩමින් එකතු කරගත් මහා දැනුම් සම්බාරයක් තිබුනද ඉගැන්වීම සරල දෙයක් නොවීය. ධර්මය පිළිබද දැනුම තිබුනද මා සතු අවබෝධය අල්ප විය. එදා සිට අද දක්වා වසරින් වසර මා ද ඉගැන්වීමට උගත්තෙමි. අදටද මා හට ඉගෙනීමට ඇති දේ බොහෝය.
             බැනුම්, ගැරහුම්, සිත් රිදීම් වලින් මෙම දහම් පාසැල් දිවිය හිග නුනද ඒකාකාර ජිවන රටාවෙන් මිදීමට ම හට එය මහෝපකාරී විය. එමෙන්න ඉගැන්වීමෙන් මා ලබන මානසික තෘප්තිය අපමණය.
             ලග එන මාණ්ඩලික තරග පුහුණු කිරීම සදහා ප්‍රශ්නාවලියක් සෑදීමට මට භාර විය.  දිනක් මම අන්තර් ජාලය පිරික්සද්දී දහම් පාසැල් විෂය නිර්දේශයට අනුව පාඩම් මාලාවක් ඇති වෙබ් පිටුවක් දුටුවෙමි. පුදුමයකි. එය සකසා තිබුනේ තණමල්විල ප්‍රදේශයේ නැණ සලක් මගිනි. මා එතෙක් තණමල්විල ගැන අසා තිබුනේ කංසා වවන දුෂ්කර ප්‍රදේශයක් ලෙස පමණි. එය දුටු පසු, දැනුම, තාක්ෂණය හා සම්පත් ඇති අප මෙවන් දෙයක් නොකරන්නේ මන්දැයි මට සිතුනි. මෙමෙ බ්ලෝග පිටුවේ ආරම්භය මෙසේ සටහන් විය.

සිසුන් ලෙස ඔබගේද , ගුරුවරුන් ලෙස අපගේද වගකීම දහම් පාසල් ගීතය නැවත නැවත කියවීමෙන් මානව පසක් වනු ඇත.

සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන්
සැනැහෙන අප සිරි ලක් දරුවෝ //
දහම් පාසෙල් සෙවනෙහි වැඩෙමින්
උදාර ගුණදම් සිත දැරුවෝ //

පස් පවු දස අකුසල් දුරලා
ඉසිකෝමන් හැම බිද හැරලා
මෙත් කරුණා මුදිතාදී මුනි ගුණ
සපුරා පිළිවෙත් මග සරසා //

සොමි වුවනින් දුටු දුටුවන් පිනවන
පිය තෙපුලෙන් ඇසු ඇසුවන් සනහන
හද බැතියෙන් නිති තෙරුවන් නමදින
උදාර ගුණ දම් සිත දැරුවෝ
අපි වෙමු සිරිලක බොදු දරුවෝ///